Thursday, November 10, 2016

ආගම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?



ආගම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

සමස්තයක් වශයෙන් ගත් කල පුද්ගල ජීවිතය අංශ දෙකක් යටතේ සාකච්ඡා කළ හැකි ය. එනම්,

01. භෞතික ජීවිතය  02. අධ්‍යාත්මික ජීවිතය

වශයෙනි. භෞතික ජීවිතය පිළිබඳ ව කථා කිරීමේ දී ඒ හා බැඳුණු අවශ්‍යතා කිහිපයකි. ආහාර, වස්ත්‍ර, නිවාස, ඖෂධ ඉන් ප්‍රමුඛත්වය ගනී. මිනිසාගේ භෞතික ජීවිතයේ පැවැත්ම හා සංවර්ධනය උදෙසා ඉහත අවශ්‍යතා මූලික වන අතර ම ඒවා සාමාජීය වශයෙන් පුද්ගල පැවැත්ම තහවුරු කරන සාධකයන් ද වේ. මෙසේ පුද්ගල ජීවිතයකට භෞතික ජීවිතය වැදගත් වන්නා සේ ම ඒ හා සමාන ව ම වැදගත් වන අනෙක් අංශය ලෙස අධ්‍යාත්මික ජිවිතය දැක්විය හැකි ය. භෞතික ජීවිතයට ඉහත දැක්වූ අවශ්‍යතා මූලික වන්නා සේ ම පුද්ගල අධ්‍යාත්මික ජීවිතයට ආගම නම් වූ ප්‍රස්තුතය අතිශයින් වැදගත් අවශ්‍යතාවක් ලෙස දැක්විය හැකි ය. මන්ද, පුද්ගල අධ්‍යාත්මික ජීවිතයට ඉන්ධන සපයන්නේ ආගම නම් වූ ප්‍රස්තුතය තුළිනි. මානව සංහතිය ආරම්භයේ සිට ම මේ දක්වා පුද්ගල අධ්‍යාත්මික ජීවිතය සමඟ ආගම එකිනෙකට සම්බන්ධ ව පවතී. එමෙන් ම එය පුද්ගල ආධ්‍යාත්මික ජීවිතයට පමණක් නො ව පුද්ගල භෞතික ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ද මාර්ගෝපදේශකත්වය සපයනු ලබයි.

මේ අනුව දියත පුරා පැතිරුණු මිනිස් ජීවිතය කෙරෙහි බලපානු ලබන ආගම නම් වූ ප්‍රස්තුතය පිළිබඳ විමසා බැලීම කාලීන වැදගත්කමකින් යුතු කර්තව්‍යයක් වන්නේ ය. එහෙයින් ආගම යනු කුමක් ද? එහි සමාරම්භය කෙසේ සිදු වී ද? එහි ස්වභාවය කෙබඳු ද? යන්න පිළිබඳ අප මෙතැන් සිට විමසා බලමු.


ආගම යනු කුමක් ද?

ආගම යන වචනය අර්ථ දැක්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ යොදා ගෙන ඇත්තේ Religion (රිලිජන්) යන වචනය යි. එය 13 වන සියවසේ සිට භාවිත කරන්නකි. එය Anglo – French ‘Religiun’ (11 වන සියවස) හා ලතින් භාෂාවේ ‘religio’ යන්න ද එකතුවෙන් දෙවියන් හා දෙවිවරුන් නමස්කාර කිරීමක් (reverence), තදබල විශ්වාසයක්, දේව වස්තූන් තුළින් පැමිණෙන්නා වූ සුපරීක්ෂාකාරී සිතා බැලීමක් ලෙස අර්ථ ගැන්වෙයි.[1] (A Latin Dictionary).

ලතින් භාෂාවේ දැක්වෙන Religio යන වචනයෙහි මූලික අර්ථය අරභයා රෝම අධිරාජ්‍ය යුගයේ පඬිවරුන් අතර පවා මතභේද පැවත ඇත. එවකට පළ වූ ඒ මතයක් නම් අල්ලා ගැනීම, එකතු කිරීම, ගණන් බැලීම, බැලීම යන අර්ථය දෙන lig යන ප්‍රකෘතියෙන් Religio යන වචනය උපන් බව යි. තවත් මතයක් වන්නේ එකට බැඳීම යන අර්ථය දෙන leg යන ධාතුවෙන් Religio යන වචනය උපන් බව යි. Religio යන වචනය තුළින් එක්තරා ඥාතීත්වයක් පිළිබඳ හැඟීමක් ගෙන දේ. එම ඥාතිත්වය තුළින් අදහස් කර ඇත්තේ මිනිසා හා අතිමානුෂික සබඳතාවයන් අතර සම්බන්ධය යි.[2]

‘Religio’ යනුවෙන් යෙදෙන ඉංග්‍රීසි වචනය වෙනුවට දැනට සිංහලෙන් භාවිත කරන පොදු වචනය "ආගම" යන්න යි. එමඟින් කිසියම් ශාස්තෘවරයෙකුගේ ධර්ම මාර්ගයක්, උපදේශ ක්‍රමයක්, ප්‍රතිපත්ති මාර්ගයක් හා ඒවා වටා බැඳුනු වත්පිළිවෙත් සමුදායක් අදහස් කරනු ලබයි.

එහෙත් ඉන්දියාව හා ලංකාව යන රටවල කිසියම් ශාස්තෘවරයෙකුගේ උපදේශ ක්‍රමයකට හා ප්‍රතිපත්ති මාර්ගයකට පොදුවේ යොදන ලද්දේ ආගම යන වචනය නො ව, "ධර්ම" යන වචනය යි. ජෛන ධර්මය, හින්දු ධර්මය ආදි වශයෙන් ධර්ම ශබ්දය සංස්කෘත හා හින්දු යන භාෂා ද්වයයෙහි ම ව්‍යවහාර වෙයි.[3]

සිංහල, පාලි ව්‍යාකරණයන්හි ආගම යන වචනය භාවිත වන්නේ එකට බැඳීම හෙවත් වචන දෙකක් අතර සම්බන්ධතාව ඇති කිරීමේ කාර්යය හඟවනු පිණිස ය.

ආගම යන වචනය පිළිබඳ ව දම්පියා අටුවා ගැටපදයෙහි දක්වා ඇත්තේ "ආගම නම් බුදු වජන්" යනුවෙනි.[4]

ආගම යන වචනය සංස්කාත ශබ්දයක් ලෙස ගතහොත් එහි තේරුම සූත්‍ර ධර්මය යනු යි. අඞ්ගුත්තරාගම, මජ්ඣිමාගම යන තැන්හි එය යෙදී ඇති අයුරු පිරික්සීමෙන් ඒ බව පෙනේ. "බහුස්සුතා ආගතාගමා ධම්මධරා" ආදි තැන්හි උගත් ධර්මය ඇති බව ආගතාගමා (ආගත + ආගමා) යන වචනයෙන් කියැවේ.[5]

මූලික බෞද්ධ ග්‍රන්ථවල ආගම යන්නට අරුත් සැපැයීමට ව්‍යවහාර කරනු ලැබ ඇත්තේ "බ්‍රහ්මචරිය" යන වචනය යි.

"චත්තාරි ච අනස්සාසිකාමි බ්‍රහ්මචරියානි අක්ඛාතානි"[6] (මජ්ඣිම නිකාය - සන්දක සූත්‍රය)

ආගමික ශාස්ත්‍රඥයන් පවසන පරිදි ආගම යන්නට විශ්වීය නිර්වචනයක් සැපැයීම සියලු ආගම් හා සලකා බැලීමේ දී අසීරු මෙන් ම, කළ නො හැක්කකි. Talal Asad දක්වන පරිදි, ආගම යන්නට විශ්වීය නිර්වචනයක් තිබිය නො හැකි ය. මක්නිසා ද යත්, එම නිර්වචනය මාතෘකාවෙන් බැහැර ව ලියන ලද්දා වූ ඓතිහාසික නිෂ්පාදනයක් බැවිනි.[7] (Talal Asad "Genealogies of Religion" – Johns Hopkins University Press).

මහාචාර්ය ලෞබාගේ "ආගම පිළිබඳ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක්" (A Psychological study of Religion) නම් කෘතියේ දී ආගම පිළිබඳ විවිධ ලේඛකයන් දී තිබෙන නිර්වචන 48 ක් ඉදිරිපත් කර තිබේ.[8] එමෙන් ම Vergilirs නම් ලේඛකයා ඔහුගේ First Chapter of Religion Philosophy නම් කෘතියෙන් ආගම පිළිබඳ නිර්වචන සඳහා පිටු 72 ක් වෙන්කර තිබේ.[9] එමඟින් පෙන්නුම් වන්නේ ආගම සම්බන්ධයෙන් නිශ්චිත නිර්වචනයක් ඉදිරිපත් කිරීම දුෂ්කර කාර්යයක් වී ඇති බව යි. ලෝකයේ පවතින ආගම්හි ස්වරූපය විවිධාකාර වීම මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇති බව සමාජ විද්‍යාඥයින් හා මානව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

එහෙත් ආගම යනු කුමක් ද? යන්න පිළිබඳ ව යම්තාක් දුරට හෝ අවබෝධයක් ලබා ගැනීම උදෙසා නිර්වචන කිහිපයක් විමසා බැලීම වටිනේ ය.

“A system of faith and worship[10] ආගම යනු විශ්වාසය හා ගෞරවය පිළිබඳ වූ පද්ධතියක් වේ. (Johnson’s Dictionary)

“The belief in the existence of a God or Gods and the activities that are conectet with the worship of them” (Oxford Dictionary)

දෙවියන් හෝ දෙවිවරු විද්‍යමාන යැයි යන විශ්වාසයක එල්බ සිටීම හා ඔවුන් වෙනුවෙන් වන්දනා කිරීමේ කාර්යයන්හි එකතුව.

“One of the Systems of faith that are based On the belief in the existence of particular God or Gods”[11] (Oxford Dictionary)

යම් සුවිශේෂී වූ දෙවි කෙනෙකු හෝ කිහිප දෙනෙකු සඳහා ඇත්තා වූ විශ්වාසය පදනම් කරගත් භක්තිමය ක්‍රියා පිළිවෙතකි.

ආගම = පැමිණීම, අවබෝධය[12] (ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය)
ආගම = ආගමනය, පැමිණීම, සම්ප්‍රාප්තිය.[13] (බෞද්ධ ශබ්ද කෝෂය)
"ආගමික සංස්ථාව යනු විශ්වය හා වත් පිළිවෙත්, පුද පූජාවන්ගෙන් සමන්විත ක්‍රියාකාරකම් පද්ධතියකි. එහි දී මනුෂ්‍ය සමූහ පූජනීය හා අධිස්වාභාවික දේවල් මුල් කොට ගෙන පුද පූජා පවත්වති."[14] - සමාජ විද්‍යාඥ ජොන්ස්ටන් (Johnstone)

ඉහත නිර්වචන සලකා බැලීමේ දී ආගමක ලක්ෂණ කිහිපයක් දැකිය හැකි ය. එනම්,

01. ආගමට අයත් වූ අදහන්නන් සමූහයක් සිටීම.
02. ආගමික විශ්වාස හා ක්‍රියාකාරකම් පද්ධතියක් තිබීම.
03. එම විශ්වාස හා ක්‍රියාකාරකම් පද්ධතිය මඟින් පුද්ගලයන් සමූහයක් තමන්ට පූජනීය (ශුද්ධ) අධිස්වාභාවික ලෙස හැඟෙන දේ අර්ථකථනය කිරීම හා ඒවා විෂයෙහි ප්‍රතිචාර දැක්වීම ආදි ලක්ෂණ වේ.
"ආගම යනු පාරිශුද්ධ දේ හා සම්බන්ධ විශ්වාස ක්‍රියා පිළිවෙත් පිළිබඳ ඒකාබද්ධ ක්‍රමයකි. එම විශ්වාස හා ක්‍රියා පිළිවෙත් අදහන සියලු දෙනා ම සුචරිත ධර්ම මුල් කරගත් ජන සමූහයකට අයත් ය."[15] - සමාජ විද්‍යාඥ එමිල් ඩුර්කයිම් (Emile Durkheim) – The Elementary From of Religious, 1912.

ඉහත නිර්වචනය අනුව ආගම ඇතිවන්නේ ශුද්ධ යයි සම්මත විශ්වාසයන් හා භාවිතයන් සමූහයක් වෙතිනි. එමිල් ඩුර්කයිම් පෙන්වා දෙන පරිදි ඕනෑ ම දෙයක්, එනම් දෙවියන් හෝ ඒ හා සම්බන්ධ පැලෑටියක්, ලී කැබැල්ලක්, සතෙක්, පිළිමයක් ආදිය පාරිශුද්ධ දේ ලෙස සැලකේ. ඔහු දක්වන ලෙසට මේ පාරිශුද්ධ දේවල් පෙරදැරි කරගෙන සමාජයේ සියලු ම සාමාජිකයන් පොදු හැඟීමකින් එකට සංවිධානය කිරීමක් ආගම මඟින් සිදු වේ.

"ආගම මිනිසාගේ අද්දැකීම් හා නො දන්නා වූ විවිධාංගයන් එක්තරා සැලැස්මක් යටතේ ගොනු කරනු ලබන මාධ්‍යයකි. මිනිසා ආනුභවික ව දන්නේ මොනවා ද? නො දන්නේ මොනවා ද? කියා දෙන්නේ ආගම යි."[16] (Walter Goldschmidt, Exploring the ways of Mankind, 1960.)

ආගම සම්බන්ධයෙන් ඉහත අර්ථ ගැන්වීම් මානව විද්‍යාත්මක ව ආගම දෙස බැලිය හැකි එක් දෘෂ්ටිකෝණයකි. එයට අනුව ආගම තමා අවට ඇති ලෝකය පිළිබඳ ව දැන නුවණ ආශ්‍රයෙන් මිනිසාට සමීප වූ දෙයකි. ලෝකයෙහි ආරම්භය සිදු වූ දින සිට ම මෙම සමීපතාව සිදුවන්නට ඇතැ යි ද, මානව ජීවිතයට ආගමික උත්තේජකයන්ගේ බලපෑම ලැබෙන්නට ඇතැ යි ද මානව විද්‍යාඥයින් විශ්වාස කරන බව පෙනේ. මිනිස් ඉතිහාසයේ ආගමික යුගය කොතරම් පැරණි ද යත්, එය මිනිසාගේ සමාජ ජීවිතය පෙන්වන භාෂාවෙහි ආරම්භයට ද වඩා ඈතට දිව යන්නක් බව J. Dawson ගේ The Age of the Gods කෘතියේ දැක්වෙයි.

"ආගම යනු මිනිසුන්ගේ විශ්වාස හා චර්යා මෝස්තරයන් ය. ජීවිතයේ වැදගත් ගැටලු විසඳා ගැනීමට තාක්ෂණය හා වෙනත් උපක්‍රමවලින් බැරි විට ඔවුහු මෙබඳු විශ්වාස හා චර්යා මෝස්තරවලට හැරුණාහ. සාමාන්‍ය විදිහට විග්‍රහ කරන්නට බැරි, ලබා ගන්නට බැරි දේ සඳහා මේ විශ්වාස හා චර්යා මෝස්තර යොදා ගනු ලැබේ."[17] (මහාචාර්ය නන්දසේන රත්නපාල)

මනුෂ්‍යයාගේ ජීවිතයේ කෙලින් ම ඔහුට බලය පෙන්විය නො හැකි පැත්තක් ඇත. සමහර විට මේ පැත්තේ සිද්ධි විස්තර කොට අසවල් දේ නිසා මෙය සිදු විණැ යි කිව නො හේ. මෙසේ තාක්ෂණයට පවා ජයගත නො හැකි ඒ පැත්තට ආගම අසුවෙයි. විවිධ යාතුකර්ම හා පූජාවිධි මඟින් ඒ පැත්ත පාලනය කර ගැනීමට මිනිසාට හැකි ය. ඔහු මෙහි දී දෙවියන් වැනි බලවේගයන් ඒ කටයුත්තට මාර්ගය ලෙස යොදා ගනී. ආගම යනු මෙසේ අධිස්වාභාවික බලවේගයකින් තමාගේ ප්‍රශ්න විසඳීමට සකස් කළ ආකල්ප, ක්‍රියාමාර්ග, විශ්වාස හා ඇදහිලි පිළිබඳ එකතුව ය. සමහර විට පාරිශුද්ධ පරමාර්ථයන් පිළිබඳ ව ආකල්ප, ක්‍රියා මාර්ග, විහ්වාස ඇදහිලි නැතිකර ගැනීම ආගම ලෙස දැක්විය හැකි ය.

"මිනිසා මිනිසාට වඩා උත්තරීතර වූ ද, ස්වභාව ධර්මය හා තම ජීවිතය මෙහෙයවා හසුරුවා පාලනය කරන්නේ යයි විශ්වාස කරනු ලබන්නා වූ ද, තමාට වඩා උසස් බලවේගයන් පහදවා ගැනීමට දරනු ලබන උත්සාහයයන් ආගම හැටියට දැක්විය හැකි ය."[18] ශ්‍රීමත් ජේම්ස් ප්‍රේසර් Sir James Frazer – The Golden Bough (ස්වර්ණමය ශාඛාව) 1934.

මේ නිර්වචනය අනුව යක්දෙස්සාගේ අනවින හා හදිහූනියම් ද ආගමට ඇතුළත් වේ. එහෙත් ලේඛකයන් වැඩිදෙනා පුද්ගල ස්වරූපයෙන් සිටින දෙවි දේවතාවුන් හා භූතයන් පිදීම හා අයැදීම ආගමට අයත් කාර්යයක් ලෙසත්, අපෞද්ගලික බලවේග යන්ත්‍ර මන්ත්‍ර මාර්ගයෙන් මර්දනය කිරීම අභිචාර විධි ගණයට අයත් කාර්යයක් ලෙස සලකති.

"අතිමානුෂ අධිභූතයන් කෙරෙහි ඇති විශ්වාසය ආගම යි."[19] මානව විද්‍යාඥ එඩ්වඩ් ටෛලර් (E.B.Tylor) Primitive Culture
එහෙත් විශ්වාස පමණක් නො ව, පිළිවෙත් ක්‍රම හා හැඟීම් ද ආගමකට අන්තර්ගත වේ.

"ආගම ශුද්ධ අධිභෞතික දේ සම්බන්ධ වූ විශ්වාස හා යාතුකර්ම වටා ගොඩනැගී ඇති එකිනෙකට සම්බන්ධ වී ඇති තත්ත්වයන් කාර්ය කොටස් ධර්මතා පිළිබඳ එකතුවකි. මෙම එකතුව සෑදී ඇත්තේ ඇදහිලි වාද පදනම් කරගෙන ය.[20]" සමාජ විද්‍යාඥ රැල්ප් එච්. ටර්නර්. (Elizabeth K. Nottingham, Religion : A Sociological view, 1965.)

මෙම නිර්වචන විග්‍රාහාත්මක ව සලකා බැලීමේ දී :

01. ශුද්ධ හා අධිභෞතික සියලු දේ.
02. විශ්වාස හා ඇදහිලි
03. ඇදහිලි වාද හා යාතු කර්ම

ලෙස බෙදා දැක්විය හැකි ය.
"ආගම ප්‍රභවය ලැබුවේ මිත්‍යා මායාවන් හා වැරදි විශ්වාසයන් නිසා ම නො වේ. මිනිස් ජීවිතයේ සත්‍ය හා යථාර්ථවාදී ලෙස දක්නට ඇති ඛේදාන්තයන් විශේෂයෙන් ම මිනිසාගේ සැලසුම් හා ඔහු මුහුණ දෙන යථාර්ථය අතර ඇති ගැටුම ආගම මිනිසාට හඳුන්වා දීමට හේතුකාරක විය."[21] මානව විද්‍යාඥ බී. මැලිනොවුස්කි (B. Malinowsky) Magic Science and Religion, 1954.
මැලිනොවුස්කි අභිචාර මෙන් ම ආගම ද දකින්නේ මිනිසාට සේවය කරන සමාජ ආයතනයක් ලෙස ය.

"ආගම යනු මානසික තත්ත්වයක් බව පැහැදිලි ය. එය අප හා විශ්වය අතර පොදු වශයෙන් පවත්නා සුසංගතිය ගැන හැඟීමක් මත පිහිටි චිත්තවේගයක් වශයෙන් මැනවින් විවරණය කළ හැකි බව මට හැඟෙයි."[22] ආචාර්ය ජේ. මැක්ටැගට්, ආගමේ සමහර අදානග්‍රාහී මත. (Some Dogmas of Religion)

එදිනෙදා ජීවිතයෙහි පවතින්නා වූ අවුල් සහගත බව සහ අනතුරුදායක බව ඉක්මවා අධ්‍යාත්මික සන්සුන්භාවය ලබා ගැනීමේ මාර්ගය සොයා ගැනීම සඳහා මිනිසා කරන්නා වූ නො නවතින උත්සාහය මත ආගමික හරය සකස් වේ."[23] (Edward Sapir)

ශාස්ත්‍රපති මුංහේනේ මෙත්තාරාම හිමි විසින් රචිත "ආගමේ සම්භවය හා විකාශනය පිළිබඳ විමසුමක්" යන කෘතියේ ඇතුළත් ආගම පිළිබඳ නිර්වචන කිහිපයක් මෙසේ දැක්විය හැකි ය.

"ආගම මානුෂික අද්දැකීම්වලට ප්‍රකාශනයකි." ප්ලේටන් ගීවර් (Plation Geever) Philosophy and Religion, P.6

"මමත් අන් අයත් අත්විඳින සියල්ල ආගම යි." මහාචාර්ය බ්‍රයිට්මාන් A Philosophy of Religion, P.18

"ආගම යනු ආත්මීය වශයෙන් යුතුකම් ප්‍රතිබද්ධ දිව්‍ය නියෝගයක්." කාන්ට් Religion Within the limits of Reason – 1934, P.142.

"පෞද්ගලික වූ සියල්ල සමස්තයේ කොටසක් ලෙසත්, සීමිත වූ සියල්ල අනන්තයේ කොටසක් ලෙසත් ගැනීම" ෆ්‍රෙඩ්රික් ෂෙලියර් Sehleieua Chem Uberdien Uberdic Religion, P.156.

"මිනිසා ආගමේ ආරම්භය වන බවත්, මිනිසා ම ආගමේ කේන්ද්‍රය වන බවත්, මිනිසා ම ආගමේ අවසානය වන බවත් ය." ලුඩ්විග් නොයැවැග්.

"මිනිසුන් තමන් හුදෙකලාවේ සිටින විට ඔවුන් අමරණීය වීමට කළ හැකි කුමන දෙයක් හෝ කිරීම හා සම්බන්ධ හැඟීම් ක්‍රියාවන් හා අද්දැකීම් සමූහයක් ලෙස යි." විලියම්ස් ජේම්ස්. The Varieties of Religions experience P.16.

"පැවැත්මේ හැකියාව පිළිබඳ හැඟීම ආගම යි. මෙම හැකියාවන්හි උල්පත ආගම යි."[24] ජෝන් ඩේවිට්. The Qrest for Certainty, P.303.

"අපට වැටහෙන ආකාරයට ආගම හුදෙක් මනුෂ්‍යයා හා මනුෂ්‍යයන් අතර සබඳතාව පමණක් නො ව, මනුෂ්‍යයා සහ ඔහු ඉක්ම වූ බලවේගයක් අතර සම්බන්ධතාවයකි."[25] Maclever and Page.

"අතිමානුෂ බලයක් පිළිබඳ දක්වන ආකල්පය ආගම යි."[26] Ogburn.

"කිසි ම ආකාරයකින් ග්‍රහණයට හසු නො වන ආකාරයේ සියලු දේ අවබෝධ කර ගැනීමට හැකියාවක් ලබා ගෙන තිබෙන මිනිස් මනසේ ඇති කොටස් ආගම යි."[27] මැක්ස් මුලර් (Max Muller)

"ආගම යනු ස්වාධීන විශ්වාසයන් පිළිබඳ වූ හැඟීමක් වේ."[28] Friedrich Schleiermacher (18 වන සියවස)

"ආගම යනු සංස්කෘතික පද්ධතියකි."[29] Clifford Geertz’s

විසිවන සියවසේ අනෙක් නිර්වචනවලට වඩා මෙම අදහස ඉහළින් පැවැති නිර්වචනයක් වන අතර වර්තමානයේ විශාල පිළිගැනීමක් ඇත්තා වූ ද නිර්වචනයක් ලෙස මෙය දැක්විය හැකි ය.

ක්ලිෆර්ඩ් ගීර්ට්ස්ට අනුව තවදුරටත් ආගම මෙසේ නිර්වචනය කළ හැකි ය.

ආගම යනු,

01. සංකේතයන් පද්ධතියකි.
02. එම සංකේත මිනිසා තුළ ඉතා දිගු කලක් පවතින තත්ත්වයන් හා අභිප්‍රේරණයන් බලවත් ව හා ව්‍යාප්ත ව ගොඩනැංවීමට ක්‍රියා කරයි.
03. එසේ කරන්නේ පළමු ව පැවැත්මේ සාමාන්‍ය පිළිවෙල ගැන සංකල්පයන් සකස් කිරීමෙනි.
04. දෙවනු ව එම සංකල්පයන් සිද්ධි වාචික කරුණුවලින් හැඩ වැඩ දමයි.
05. එම කරුණුවලින් තත්ත්වයන් හා ප්‍රේරණයන් අද්විතීය ලෙස යථාර්ථවාදී කෙරේ.[30]

"ආගම යනු විවිධ සමාජවල මිනිසුන් සකස් කරගත් විශ්වාස පද්ධිත, ප්‍රතිපත්ති පද්ධති, සංස්ථා පද්ධති ලෙස දැක්විය හැකි ය." ටැල්කොට් පාර්සන්ස්

"ආගම යනු කවරෙක් දැ යි නිර්වචනය කිරීමට වඩා ආගමක් යනු කුමක් දැ යි හඳුනා ගැනීම වඩාත් සුදුසු බව නීනියන් ස්මාට් සිය The World’s Religion නමැති කෘතියේ දක්වයි. ඔහු ආගමක පැවැතිය යුතු දිශානතීන් අටක් පිළිබඳ ව අවධානය යොමු කරයි.

1. අභිචාරමය හෝ ප්‍රායෝගික
2. දේශනාමය හෝ දාර්ශනික
3. මිථ්‍යාමය හෝ වෘත්තාන්තමය
4. අත්දැකීම් සහිත හෝ හැඟීම්බර
5. ආචාරධර්මීය හෝ නෛතික
6. සංවිධානාත්මක හෝ සමාජයීය
7. භෞතිකමය හෝ කලාත්මක
8. දේශපාලන හෝ ආර්ථික[31]

"ආගම යනු මිනිසුන්ගේ දෛනික ජීවිතය හා පාලනය කරන බලවේග ඔවුන්ගේ මනස තුළ මනස් සෘෂ්ටික ලෙස පරාවර්තනය වීමක්, භෞමික බලවේග අද්භූත බලවේගවල ස්වරූපය ආරූඪ කර ගන්නා පරාවර්තනයක් මිස අන් කිසිවක් නො වේ."[32] මාක්ස් එංගල්ස්.

"ආගමික වින්දනය වූ කලි ඇත්ත වශයෙන් ම විඳින දුක ප්‍රකාශ කිරීමක් මෙන් ම ඒ දුක කෙරෙහි විරෝධය පළ කිරීමකි. ආගම වූ කලි පීඩිත අසරණයන්ගේ සුසුම ය. හිතක් පපුවක් නැති කුරිරු ලෝකයේ කරුණාබර හදවත ය. හැඟීමෙන් තොර අචේතනික තත්ත්වයක සජීවී ආත්මය ය. ජනතාවගේ අබිං ය."[33] කාල් මාක්ස්

"දුප්පත් ව වෙහෙසී වැඩ කරන ජනතාවගේ ජීවිතයෙන් වෙන් වී ඉවසීමෙන් කටයුතු කරන ලෙස උගන්වන ආගම දෙව්ලොව දී ලැබෙන ප්‍රසාද ගැන කියා ඔවුන් සනසයි. මිනිස් වෙසින් දීන ව ජීවත් වෙමින් සිය අපේක්ෂාවන් පසෙක තබා ජීවත් වීමට උගන්වන ආගම වනාහි වහලුන් තනන අධ්‍යාත්මික වොඩ්කාවකි." ලෙනින්

ඉහත නිර්වචන පරීක්ෂා කිරීමෙන් පෙනෙන්නේ ආගම සම්බන්ධයෙන් විශ්වීය එමෙන් ම නිශ්චිත එක් නිර්වචනයක් ඉදිරිපත් ව නොමැති බව යි. තමාට ඉහළින් ක්‍රියා කරන අදෘෂ්‍යමාන බලයක් පහදවා ගැනීම සඳහා ගන්නා ක්‍රියා මාර්ගය ආගම යැයි ගතහොත් එවිට අනිශ්වරවාදී බුද්ධ ධර්මය වැනි ධර්ම මාර්ග ආගම යන වචනයට අඩංගු කළ නො හැකි වෙයි. එහෙත් මෙහි කලින් දැක්වූ ලෙසට ආගම යන වචනය අද ව්‍යවහාර වන්නේ යම් ශාස්තෘවරයෙකුගේ ධර්ම මාර්ගයක් හැඳින්වීම පිණිස යෙදෙන පොදු වචනයක් වශයෙනි. සමාජය විසින් සිය භාෂාවේ වචනවලට අයත් අර්ථ කලින් කලට වෙනස් කරන බැවින් වචනවලට අයත් විය යුතු නිශ්චිත අර්ථ ගැන වාද විවාද කිරීම නිෂ්ඵල ව්‍යායාමයකි.

ආගමේ සම්භවය

මිනිසා තුළ ආගමික හැඟීම් පහළ වූයේ කවදා දැ යි නිශ්චය කිරීම දුෂ්කර කටයුත්තකි. සාමාන්‍යයෙන් දැනට පිළිගැනෙන්නේ මිනිසාගේ ආගමික හැඟීම් මිනිස් ඉතිහාසය තරම් ම පැරණි බව ය. හැම කල්හි ම මිනිසා ආගම සමඟ සම්බන්ධ ව සිටින ලදැ යි මානව විද්‍යාඥයෝ දක්වති. ඇතැම් විද්වතුන් ආගම ලෙස නිර්වචනය කර ඇත්තේ තමාට ඉහළින් තිබෙන බලවේගයක් කෙරෙහි විශ්වාසය හා එකී බලවේගයන් පහදවා ගැනීමේ ක්‍රියාමාර්ගය යි. එම නිර්වචනය අනුව බලන කල මිනිසා හැම කල්හි ම ආගම සමඟ සම්බන්ධ ව සිට ඇත. ඒ අනුව ප්‍රාග් යුගයේ මිනිසා භයෙන්, සැකෙන්, නො දැනීමෙන් යුතු ව අතිමානුෂික බලවේගයන් ගැන සිතමින් වරක ඒවා මැඩ පැවැත්වීම ද තවත් වරක ඒවායේ පිහිට පැතීමට ද තැත් කරමින් සිටින්නට ඇත.

ක්‍රි.පූ.සයවන සියවසේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ ද මිනිසුන් තුළ ආගමික හැඟීම් ඇති වූයේ කුමන ස්වරූපයෙන් දැ යි දේශනා කළ සේක.

බහුංවෙ සරණං යන්ති - පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චෙතියානි - මනුස්සාභය තජ්ජිතා[34]

(ධම්මපදය, බුද්ධවග්ග 10 වැනි ගාථාව)

බියෙන් තැතිගත් බොහෝ මිනිස්සු පර්වතයන් ද වනයන් ද ආරාමයන් ද ඒකාන්තයෙන් සරණ යන්නාහ.

ආගමේ සම්භවය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් ආවරණය කර ගැනීමට මානව විද්‍යාඥයින්ට හා සමාජ විද්‍යාඥයින්ට හැකියාව ලැබී තිබේ. ඒ අනුව ආගමේ සම්භවය පිළිබඳ න්‍යායන් කිහිපයක් ඉදිරිපත් ව ඇත.

01. අර්චන කාමය (Fetishism)

යම්කිසි පූජා ලාංඡනයක් (පාෂාණයක්, පළඳනාවක්, කැටයම් කරන ලද ලීයක්) තුළ සුවිශේෂ බලයක් ඒකරාශී වී ඇතැයි යන විශ්වාසය අර්චන කාමයට පසුබිම් වී පවතී. මෙම වස්තුව අදහන්නාට ඔහුගේ විශ්වාසය අනුව ප්‍රතිජානාත්මක හෝ නිශේධනාත්මක ප්‍රතිඵල ලැබේ.[35] මෙය ආගමික විධියක් මෙන් ම අභිචාර විධියක් වශයෙන් ද සැලකේ. මෙය ඉතාමත් ප්‍රාථමික දෙයකි.

02. සර්වාත්මවාදය (Animism)

ජීවී අජීවී සෑම දෙයක් ම ආත්මයක් හෙවත් ප්‍රාණයක් තිබෙන බවට ඇති විශ්වාසය මෙයින් ගම්‍ය වේ. මේ පිළිබඳ තොරතුරු ඊ.බී.ටයිලර් විසින් 1871 දී පළමු වරට පළකරන ලද Primitive Culture නම් කෘතියෙන් ඉදිරිපත් කරන ලදි.[36]

ඇළ දොළ, ගංගා, කඳු හෙල්, මිටියාවත් සෑම එකකට ම ප්‍රාණයක් තිබේ. එසේ මිනිසාගේ මියගිය ඥාතීහු ද ආත්ම ලෙස ජීවත් වෙති. ලෝකය මේ දෙකොටසකින් පිරී ගොස් ඇත. ප්‍රාණවාදය රඳා පවතින්නේ මේ මත ය.

අප නිදාගත් විට හීන පෙනේ. හීනවල දී අපි අප දකිමු. මීට හේතුව සලකා බැලුවහොත් එසේ වන්නේ අපගේ ආත්ම සිරුරින් බැහැර ව ඉවත් ව යෑම තුළ නිසයි. අප එහි දී කරන්නේ ඊට කලින් මියගිය අපේ නෑයන්ගේ ආත්ම හා එකතු වීම ය.[37]

මෙම සර්වාත්මවාදය ආගමේ සම්භවයට මුල් වූයේ ය යන්න බොහෝ මානව විද්‍යාඥයන්ගේ පිළිගැනීම වී ඇත.

03. තෝටමානය (Totemism)

යම්කිසි ගෝත්‍රයකට වංශයකට හෝ කණ්ඩායමකට ඓතිහාසික ව සම්බන්ධ ව පැවැතියේ යැයි විශ්වාස කරන ශුද්ධ වස්තුවක් වන්දනය කිරීම තෝටමායන වන්දනයේ දී සිදුවේ. මෙම වස්තුව සතෙක්, සතෙකුගේ ඇට කැබැල්ලක්, පැළෑටියක් විය හැකි අතර එම නාමය ගනු ලබන දැය විනාශ කිරීම එමෙන් ම අනුභව කිරීම නො කළ යුතු ය. මේ තෝටමය දිව්‍යමය බලයකින් යුක්ත වන අතර එය අදහන්නන් සැවොම එක ම වංශයක සාමාජිකයන් බවත්, එම වංශය තෝටමය තුළින් සංකේවත වන බවත් පිළිගැනේ.[38]

04. සජීවී දෘෂ්ටිය (Animatism)

පුද්ගලයන් නො වන අධිභෞතික බලවේග මෙම සජීවී දෘෂ්ටියෙන් අවධාරණය කෙරේ. ආර්.ආර්.මැරාට් නම් මානව විද්‍යාඥයා ඔහුගේ The Threshold of Religion නම් කෘතියෙන් පෙන්වා දෙන්නේ සජීවී දෘෂ්ටිය පිළිබඳ හොඳ ම නිදර්ශනය, මැනා (Mana) නම් ගුප්ත සංකල්පය බව යි. මැනා යනු මුලු විශ්වය පුරා ම පැතිරී ඇති අධිමානුෂික බලයක් ලෙස සලකනු ලබන මිනිස්සු සිටිති.[39]

මෙයට හොඳ ම නිදර්ශනය පොලිනිසියානු දූපත්වාසීන් අතර පවත්නා මැනා විශ්වාසය යි. සෑම මිනිසෙකුට ම මැනා බලය අයිතිය. ඔහුගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ මේ මැනා බලයේ අඩු වැඩි වීම මත ය. ඔහු කෙතක් වවන විට දක්ෂ ගොවියෙක් වන්නේ මේ බලය නිසා ය. එම බලය නැතහොත් එය සාර්ථක නො වේ. එම නිසා මේ මැනා බලය අත්‍යවශ්‍ය දෙයකි. මෙවැනි බලයක් තිබීම සජීවී දෘෂ්ටියකැ යි ගැනේ.

යමෙකුට මේ බලය ඇත්නම්, එය වැඩිපුර ඇත්නම් ඔහු ඇල්ලීම හෝ ඔහු දෙස බැලීම නො කළ යුතු ය. මක්නිසා ද යත් එය බලන්නාට හෝ ස්පර්ශ කරන්නාට විනාශයක් ඇතිවිය හැකි බැවිනි.[40]

05. ප්‍රත්‍යෙක දේවවාදය (Henotism)

යම් යම් පුද්ගලයන් තම තමන්ගේ අභිමතය පරිදි දෙවිවරයෙකු හෝ දෙවිවරුන් කීප දෙනෙකු තෝරා ගෙන වන්දනා මාන කිරීමත් මෙමඟින් විස්තර කෙරේ. මෙම දෙවියා හෝ දෙවියන් අප නො දන්නා වූ අනන්තය මූර්තිමක් කරන්නෙකි. මැක්ස් මුලර් හඳුනා ගත් පරිදි ආරම්භයේ දී දෙවිවරුන් කීප දෙනෙකු වන්දනාමාන කිරීමත්, ක්‍රමානුකූල ව ඔවුන් එක ම දෙවිවරයෙකු තුළින් බලය සංකේතවත් කිරීමත් මෙම ප්‍රත්‍යෙක දේවවාදයේ ලක්ෂණය යි.[41]

මෙහි දී ඒකදේව ආගම් (Monotheism) හා බහුදේව ආගම් (Polytheism) වැදගත් වෙයි.

අවිවාදයෙන් පිළිගත හැකි කරුණක් නම් හැම ඇදහිල්ලක් ම හැම විශ්වාසයක ම උපන් ස්ථානය මිනිස් මනස බව යි. ඇදහිලි හා සම්බන්ධ ප්‍රධාන කරුණු දෙකක් තිබේ. එනම්,

1. අතිමානුෂීය බලවේගයන් පිළිබඳ ව මිනිසා සිතන දේ
2. එකී බලවේගයන්ගෙන් මිනිසා අපේක්ෂා කරන දේ

යනු යි. ඇදහිලිවල දී අතිමානුෂික බලවේගයන් පිළිබඳ ව මිනිසා සිතන කරුණු පදනම් වී ඇත්තේ එම බලවේගයන්ගෙන් මිනිසා අපේක්ෂා කරන දේවල් මත ය. ඒ අනුව බලන විට මිනිසාගේ ආගමික හැඟීම් සියල්ල පිහිටා ඇත්තේ අපේක්ෂා සහ විශ්වාස යන කරුණු දෙක මත බව පෙනේ.

කෙනෙකු තුළ දෙවියන් කෙරෙහි විශ්වාසයක් බල පවත්නේ හේතු ත්‍රිත්ත්වයක් නිසා යැයි තෝල්ස් දැක්වීය. ඔහු දැක්වූ එම හේතු තුන නම්,

1. සාම්ප්‍රදායික හේතු - කුඩා කල දී ම දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් උරුම වූ සාම්ප්‍රදායික හේතූන් මත ඇතිවන විශ්වාසයන්.
2. අනුභූතික - ස්වකීය චිත්තාභ්‍යන්තරයට දැනුණු යම් යම් අනුභූතික කරුණු නිසා ඇතිවන විශ්වාසයන්.
3. බුද්ධිමය හේතූන් - විමසීමෙන්, තර්ක කිරීමෙන් ඇති කරගන්නා විශ්වාසයන්.[42]

වේ. අභිචාරයන්ගෙන් පටන් ගෙන මුළු ආගමික ඉතිහාසය පුරා ම සැරිසැරූව ද මිනිසා ආගිය හැම තැනක ම දක්නට ලැබෙන්නේ අපේක්ෂාවන් හා විශ්වාසය යි. මෙකී අනන්ත වූ විශ්වාසය මිනිස් සිත තුළ බලපැවැත්වූ බවට ප්‍රධාන සාධකය ද මිනිසාගේ ආගම ම ය.

ආගමේ මූලිකාංග

රැල්ෆ් එච්. ටර්නර්ට අනුව ආගමක මුලිකාංග මෙසේ දැක්විය හැකිය.

01. යම් ශුද්ධ වස්තූන් හෝ ස්ථාන පැවතීම.
02. ඒවා පදනම් කරගත් විශ්වාස පද්ධතිය.
03. ඒ විශ්වාස පද්ධතිය මත ක්‍රියා කරන යාතු කර්ම, අභිචාර විධි වැනි පිළිවෙත්.
04. ඒවා ක්‍රියාත්මක කරන අනුගාමිකයන්ගෙන් සැදුම් ලත් සංවිධානය.
05. ඒ මඟින් ආගම සමාජ ධර්මතාවයන් තහවුරු කරන අතර මිනිසාගේ දොම්නස හා අසහනය පාලනය කරයි.[43]

ජෝර්ජ් මුවර් නමැති දාර්ශනිකයාට අනුව ආගමක ප්‍රධාන අංග මෙසේ ය.

01. තමාට ඉහළින් ක්‍රියා කරන අදෘෂ්‍යමාන බලයක් ඇතැ යි විශ්වාස කිරීම.
02. එම බලය ක්‍රියාත්මක වන්නේ පෙළැඹීම නිසා යැයි විශ්වාස කිරීම.
03. එකී බලයක් මඟින් ඇතිවන විපත් මඟ හරවා ගත හැකි යැයි විශ්වාස කිරීම.
04. ඒ විශ්වාස අනුව ගන්නා ක්‍රියා මාර්ග.[44]

ඉහත කරුණු සලකා බැලීමේ දී ලෝකයෙහ් පවතින ආගම්හි පොදු සූක්ෂ්ම මූලිකාංග කිහිපයක් හඳුනාගත හැකි ය.

01. යම් ශුද්ධ වස්තු හෝ ස්ථාන පැවතීම. (Sacred Objects of Places)
02. එම ශුද්ධ වස්තූන් හෝ ස්ථාන පදනම් කරගත් විශ්වාස පද්ධතියක් පැවතීම. (A System of beliefes)
03. එම විශ්වාස පද්ධතිය පදනම් කරගත් වත්පිළිවෙත් පැවතීම. (Rituals)
04. එම වත්පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ගොඩනගා ගත් අදහන්නන්ගේ සංවිධානයක් පැවතීම. (Organization of Believers)[45]

ශුද්ධ වූ වස්තූන් ආගමක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි. මෙම ශුද්ධ වස්තු, ස්ථාන පිළිබඳ ව මිනිසුන් තුළ ගෞරව සහිත බියක් ඇත. ඒවා ඔවුන්ගේ එදිනෙදා ජීවිතවලට සම්බන්ධ දේ ලෙස ඔවුහු කල්පනා කරති.

උදා :- ක්‍රිස්තියානි ආගමේ කුරුසිය, බෞද්ධාගමේ දළදා වහන්සේ - ශ්‍රී මහා බෝධිය

ආගමක තවත් මූලිකාංගයකි, විශ්වාස පද්ධතියක් පැවතීම. මෙම විශ්වාස පද්ධතිය ශුද්ධ වූ දේ හා සම්බන්ධ ව ගොඩනගා ඇත. විශ්වාස පද්ධතිය ශුද්ධ වූ දේ කුමක් ද යන්න, අධි ස්වභාවික දෙයට අන්තර්ගත වූ දේ මොනවා ද යන්න පැහැදිලි කරනු ලබයි. සෑම ආගමක ම ඒ හා සම්බන්ධ පිළිගැනීම් හා කථා ගොඩනැගී ඇත්තේ මෙම විශ්වාස පද්ධතිය පදනම් කරගෙන ය.

සෑම ආගමක ම යාතු කර්ම, පුද පූජා ස්ථාපිත ව පවතියි. යාතු කර්ම යනු අධිස්වභාවික දේ හෝ ශුද්ධ වූ දේ පදනම් කරගෙන පුද්ගලයන් හැසිරිය යුතු ආකාරය යි. පූජනීය, අධිස්වාභාවික වස්තු විෂයෙහි නිරූපණය කරන චර්යා රටාවන් වත්පිළිවෙත් ලෙස හඳුනාගත හැකි ය.

ඉහත වත්පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ගොඩනගාගත් අදහන්නන්ගේ සංවිධානයක් පැවතීම ද ලෝකයේ සෑම ආගමක ම දැකිය හැකි ලක්ෂණයකි. මෙම අදහන්නන්ගේ සංවිධානයේ ප්‍රධානියෙක් සිටියි.

උදා :- භික්ෂුවක්, පූජකයෙක්

එමෙන් ම අදහන්නන් සියලු දෙනා සංවිධානාත්මක ව ඒකරාශී වන ස්ථානයක් ද පවතී.

උදා :- පන්සල, පල්ලිය

ආගමික ක්‍රියා පිළිවෙත්

ලෝකයේ පවතින බොහෝ ආගම්හි පහත දැක්වෙන ආකාරයේ ක්‍රියා පිළිවෙත් ක්‍රියාත්මක වේ.

01. යාච්ඤාව ස්තුති කිරීම හෝ යමක් ඉල්ලීම මුල් කරගෙන පවතියි. එහි දී වාග් ව්‍යවහාරය අමුතුය. ශබ්දය ඇසෙන අයුරින් මෙන් ම නිශ්ශබ්ද ව ද යාච්ඥාව සිදු කරනු ලබයි.

02. දේශනා කිරීම - දේශනාවන් කරනු ලබන තැනැත්තා එක් අතකින් දෙවියන්ට සමීප වන අතර අනෙක් අතින් මිනිසුන්ට සමීප ය. මේ දෙපිරිස අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරනු ලබයි. ඔහු දෙවියන්ගේ පණිවිඩ මිනිසුන්ට ද, මිනිසුන්ගේ පණිවිඩ දෙවියන්ට ද කියනු ලබයි.

03. ශාරීරික අද්දැකීම් - මේ සඳහා ඖෂධ ද භාවිත කරනු ලැබේ. මත් ඖෂධවලට අමතර ව ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම, ශරීරයට වධ දීම, ආහාර නො ගෙන උපවාස කිරීම, විවිධ ද්‍රව්‍ය ඇඟට විදීම ආදිය දැක්විය හැකිය.

04. සංගීතය - බොහෝ ආගම්වල මිනිසුන් සංගීත ක්‍රම යොදා ගනු ලැබේ. ලීවලට ගැසීම්, බෙර, ලී දඬු, සීනු හබ්ද ආදිය මේ සඳහා යොදා ගනී.

05. පේන කීම - ඉදිරි අනාගතය කීම මින් අදහස් කෙරේ. අංජනම් එළි, නිමිති ආදිය මීට අයත්ය.

06. භෝජන සංග්‍රහය - ශුද්ධ වූ ආහාරයක් ගැනීම මෙහි දී සිදු කරනු ලබයි.

07. බලිබිලි දීම - සමහර ආගම්වල දෙවියන් සතුටු කිරීම සඳහා සජීවී හෝ අජීවී වස්තු බලිබිලි වශයෙන් පූජා කරනු ලැබේ.[46]

ආගමේ කාර්යභාරය

විවිධ සමාජ විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට ආගමකින් සිදුවන කාර්යභාරයන් රැසකි. එම කාර්යභාරයන් පුද්ගල භෞතික ජීවිතයට මෙන් ම අධ්‍යාත්මික ජීවිතය කෙරෙහි ද මහෝපකාරී වෙයි. එබඳු කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

01. බිය හා සංකාව මැඩ පැවැත්වීම

ලෝකයේ පවතින බොහෝ දේවල් පිළිබඳ ව තේරුම් ගැනීමට නො හැකි වූ විට පුද්ගලයා බියට හා සංකාවට පත්වේ. එමඟින් පුද්ගලයා තුළ පරාධීනත්වය පෙන්නුම් වේ. මේ තත්ත්වය මඟ හැරීම සඳහා පුද්ගලයාට ආගම උපකාර වන අතර එමඟින් මිනිසාගේ ඉච්ඡාභංගත්වය දුරු ව යයි.

02. පරම අවබෝධයක් ගැන සෙවීම

මිනිසා සෑම විට ම ඔහුට පැමිණෙන වේදනාවන්ගෙන් දුක් කරදරවලින් මිදීමට උත්සාහ කරයි. එවිට එක ම විසඳුම දෙවියන් විශ්වාස කිරීම හෝ ආගම වටා එක්රැස් වීම බව ඔවුන් අවබෝධ කරගනී. එමඟින් ඔවුන් දුකින් මිදීම සඳහා වූ පරම වූ තත්ත්වයක් සොයනු ලැබේ.

03. ස්වයං ලෝකෝත්තරභාවයන් ගැන සෙවීම

විවිධ ආගම් වටා ඒකරාශී වී සිටින මිනිසුන් තම ලෝකෝත්තර ස්වභාවය, නැතහොත් වෙනත් ආත්මයක් පිළිබඳ ව කල්පනා කරයි. එය මරණින් මතු තත්ත්වයකි. ඒ සඳහා විවිධ ක්‍රමෝපායයන් භාවිත කරනු ලබයි.

04. අවබෝධ කරගත හැකි ලෝකයක් ගොඩනැගීම

ආගමික සංකේත හා ඒ සම්බන්ධ විවිධ අංගයන්ගෙන් මිනිසාගේ ජීවන අවශ්‍යතාවයන් හා පරිසරය තේරුම් ගත හැකිය. ඒවා බොහෝ විට විශ්වයේ ආරම්භය හා ස්වර්ගයන් පිළිබඳ ව සඳහන් වන ලෝකෝත්පත්ති සංකල්ප හා අදහස්වලට ද සම්බන්ධ වේ. මිත්‍යා ප්‍රවාදයන් බිහිවීමට ද මෙය හේතු විය. එහෙත් මෙවැනි අධිභෞතික නිර්මාණ තුළින් සහ ඒ සම්බන්ධ ක්‍රියාවන් තුළින් අප වෙසෙන ලෝකය පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.

05. සමාජ පාලනය

සමාජයේ පවත්නා ධර්මතා කඩ කිරීමෙන් සමාජය විසංවිධානකාරී බවට පත්වේ. සමාජ අගනාකම් බිඳ වැටී එකිනෙකා අතර අසහනය, ගැටුම් නිර්මාණය වී අපරාධකාරී චර්යාවන් සමාජය පුරා ප්‍රචලිත වේ. සමාජ පැවැත්මට අදාළ ධර්මතා, අගනාකම්, සාරධර්ම ආදිය ආගම විසින් රකිනු ලැබේ. ඒවා රැක ගැනීම උදෙසා විවිධ ආගම් තුළ විවිධාකාර වූ ඉගැන්වීම් ඉදිරිපත් ව ඇත.
06. සමාජයීය සම්බන්ධතා ඇති කරවයි

මිනිසුන් ආගමික ආයතනවල දී නිතර මුණගැසේ. එම මුණගැසීම හේතුවෙන් ඔවුනොවුන් අතර සම්බන්ධතා ඇතිවන අතර, එමඟින් සමාජයීය සම්බන්ධතා ගොඩනැඟී සමාජයීය ජීවිතයකට මඟපාදයි. ඒ අනුව ආගම සමාජයට ද ආධාරකයක් වේ.[47]

ගෞරව ශාස්ත්‍රවේදී ටෙරන්ස් අතුකෝරාල

අතුකෝරාල ටෙරන්ස්, ආගම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?‍ , සමය අධ්‍යයන (RELIGIOUS STUDIES) පූජ්‍ය ලීකොළපිටියේ ධම්මරතන අභිනන්දන ග්‍රන්ථය, සංස්. පඤ්ඤාරතන හිමි මහමිතව ආදීහු, මාගධී පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය, පුවක්පිටිය, 2009, පි.588-609.





ආන්තික සටහන්


[2] මූර්ති, ආගම සහ මියගිය ලෝකය, සීමාසහිත ලේක්හවුස් සමාගම, කොළඹ 02, 1972, 8-9 පිටු.

[3] එම, 9 පි.

[4] මෙත්තාරාම හිමි මුංහේනේ, ආගමේ සම්භවය හා විකාශය පිළිබඳ විමසුමක්, 1993, ii පි.

[5] මාගධී ශාස්ත්‍රීය සංග්‍රහය, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 2009, 439 පි.

[6] මෙත්තාරාම හිමි මුංහේනේ, ආගමේ සම්භවය හා විකාශය පිළිබඳ විමසුමක්, 1993, ii පි.

[8] හෙට්ටිආරච්චි ඩී.ඊ., සිංහල විශ්වකෝෂය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, 1965, 409 පි.

[9] මෙත්තාරාම හිමි මුංහේනේ, ආගමේ සම්භවය හා විකාශය පිළිබඳ විමසුමක්, 1993, v පි.

[11] Oxford Pocket Dictionary, Manzarkhan Oxford University Press, New Delhi, 2005, P.765.

[12] සෝරත හිමි වැලිවිටියේ, ශ්‍රී සුමංගල ශබ්දකෝෂය (ප්‍රථම භාගය), 1952, 116 පි.

[13] ලියනගේ සිරි, බෞද්ධ ශබ්දකෝෂය (පළමු වැනි කොටස) කර්තෘ ප්‍රකාශන, 236 පි.

[14] නාගිත හිමි එම්., සමාජ විද්‍යාවේ මූලිකාංග, කර්තෘ ප්‍රකාශන, 1998, 162 පි.

[15] එම, 162 පි.

[16] අමරසේකර දයා, සමාජ මානව විද්‍යාව, සමාජ විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 2005, 75 පි.

[17] රත්නපාල නන්දසේන, මානව විද්‍යාව, ආරිය ප්‍රකාශකයෝ, 2001, 249 පි.

[18] අමරසේකර දයා, සමාජ මානව විද්‍යාව, සමාජ විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 2005, 80 පි.

[19] හෙට්ටිආරච්චි ඩී.ඊ., සිංහල විශ්වකෝෂය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, 1965, 409 පි.

[20] අමරසේකර දයා, සමාජ මානව විද්‍යාව, සමාජ විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 2005, 81 පි.

[21] එම, 81 පි.

[22] හෙට්ටිආරච්චි ඩී.ඊ., සිංහල විශ්වකෝෂය, සංස්කෘතික දෙපාර්තමේන්තුව, 1965, 409 පි.

[23] යාපාරත්න ඩබ්.එම්., ආගම් දර්ශනය හා තුලනය, දහම් සරසවිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 4 පි.

[24] මෙත්තාරාම හිමි මුංහේනේ, ආගමේ සම්භවය හා විකාශය පිළිබඳ විමසුමක්, 1993, iii-iv පිටු.

[25] යාපාරත්න ඩබ්.එම්., ආගම් දර්ශනය හා තුලනය, දහම් සරසවිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 4 පි.

[26] එම, 5 පි.

[27] එම, 5 පි.

[30] ඉලංගකෝන් සමන්ත, සමය අධ්‍යයනය, ශාන් පොත් ප්‍රකාශකයෝ, 2008, 14 පි.

[31] එම, 13-14 පිටු.

[32] මෙත්තාරාම හිමි මුංහේනේ, ආගමේ සම්භවය හා විකාශය පිළිබඳ විමසුමක්, 1993, iii පි.

[33] ඉලංගකෝන් සමන්ත, සමය අධ්‍යයනය, ශාන් පොත් ප්‍රකාශකයෝ, 2008, 14 පි.

[34] ඛුද්දක නිකාය 1, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2005, 72 පි.

[35] අමරසේකර දයා, සමාජ මානව විද්‍යාව, සමාජ විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 2005, 82 පි.

[36] යාපාරත්න ඩබ්.එම්., ආගම් දර්ශනය හා තුලනය, දහම් සරසවිය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, 6 පි.

[37] රත්නපාල නන්දසේන, මානව විද්‍යාව, ආරිය ප්‍රකාශකයෝ, 2001, 250 පි.

[38] අමරසේකර දයා, සමාජ මානව විද්‍යාව, සමාජ විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 2005, 83 පි.

[39] එම, 84 පි.

[40] රත්නපාල නන්දසේන, මානව විද්‍යාව, ආරිය ප්‍රකාශකයෝ, 2001, 250 පි.

[41] අමරසේකර දයා, සමාජ මානව විද්‍යාව, සමාජ විද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, 2005, 84 පි.

[42] මූර්ති, ආගම සහ මියගිය ලෝකය, සීමාසහිත ලේක්හවුස් සමාගම, කොළඹ 02, 1972, 15 පි.

[43] ඉලංගකෝන් සමන්ත, සමය අධ්‍යයනය, ශාන් පොත් ප්‍රකාශකයෝ, 2008, 13 පි.

[44] එම, 14 පි.

[45] නාගිත හිමි එම්, සමාජ විද්‍යාවේ මූලිකාංග, කර්තෘ ප්‍රකාශන, 1998, 163 පි.

[46] රත්නපාල නන්දසේන, මානව විද්‍යාව, ආරිය ප්‍රකාශකයෝ, 2001, 260-261 පිටු.

[47] සමරකෝන් මයූර, මූලික සමාජ විද්‍යාව (පළමු කොටස), ලස්සන ප්‍රකාශකයෝ, 2005, 80-81-82 පිටු.


12 comments:

  1. තෙරුවන් සරණයි, පිංවත් ඔබට.ඔබගේ සියලු යහපත් අදහස් ඉටුවේවා කියා මම මෙත් සිත් පතමි.ඔබට යහපතක්ම වේවා.

    ReplyDelete
  2. ගොඩාක් ප්රයෝජනවත්.

    ReplyDelete
  3. සෑහෙන ප්‍රයෝජනවත් ලිපියකි.තෙරුවන් සරනයි.

    ReplyDelete
  4. ගොඩාරියක් වටිනවා

    ReplyDelete
  5. ගොඩාක් වටිනවා..අප්‍රමාණ පිං

    ReplyDelete
  6. ගොඩක් වැදගත්

    ReplyDelete
  7. මේ ලිපිය බාහිර උපාධියට ය සමය අධ්‍යනය යන විෂයට ඉතා වැදගත් සටහනකි

    ReplyDelete
  8. Thank you so much.very useful for studies about religion

    ReplyDelete
  9. Poker Tournaments near me | Oklahoma Casinos
    I love Texas Holdem. 슈어 벳 먹튀 There is a wide 온라인 슬롯 사이트 variety of games, from Texas Hold'em to Texas Hold'em poker and Texas Hold'em Poker 스포츠토토 games. Check 슬롯 꽁 머니 out the reviews of casino all

    ReplyDelete